premඑදා සඳුද දවසක්.. රාත්‍රි 8.30 ට “මුවන්පැලැස්ස” ගුවන්විදුලි නාට්‍ය විකාශය වෙන්න පටන්ගත්තා විතරයි. අපේ ගෙදරට රූපවාහිනියක් ගෙනාවෙ 1994, මම උසස් පෙළ විභාගය දෙවෙනි වරටත් කළාට පස්සෙ. ඊට කලින් අපේ ගෙදර තිබුන එකම විද්‍යුත් මාධ්‍ය යන්තරේ “නැෂනල්” වර්ගයේ තනි ස්පීකරයේ කැසට් රේඩියොව විතරයි. ඒ කාලේ මම සතියේ දවස් හතේම තිබුන ගුවන්විදුලි නාට්‍ය ඇහුව කාලයක්. ඒ වගේම “මුවන්පැලැස්ස” කියන්නේ කවදාවත්ම අමතක නොකර අහන නාට්‍යක් කවදාවත්, ඒ නිසා ඒ සඳුදා දවස සහ වෙලාව මට අමතක වෙන්නෙ නෑ.

ඒ කාලේ අද අපේ දරුවො ඉන්නව වගේ අපි නිදහසේ කෙලිදලෙන් ගතකළ කාලයක් නෙමේ…. රටේ ඒ වනවට පැවති “භීෂණ” තත්ත්වය මත එවකට වයස අවුරුදු 14 වුණ මම වගේ අයට තිබුණෙ ගෙදරට වෙලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න විතරයි. 1989 කියන්නේ “විප්ලවය සහ භීෂණය” හිපෙත්තටම ගිහිල්ල තිබුණ  කාලයක්.. මගේ නිවස තිබුනෙ හෝමාගම නගරයට ආසන්නව සහ පොලීසියට නුදුරුව නිසාත්.. එවකට පොලිස් ස්ථානයේ ස්ථානධිපති තුමා පාරෙන් ඉදිරිපස නිවසේත්, මුලස්ථාන පොලිස් පරීක්ශක තුමා යාබද නිවසේත් විසු නිසාත් මගේ පියා එවකට “මහජන එක්සත් පෙරමුණ” විසින් මෙහෙයවූ “වෘත්තීය සමිති බලමණ්ඩලයේ” ඉහළ නිලයක සිටි නිසාත්, කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික සීමාවන්වල ජනජීවිත විප්ලවයේ භීෂණය විසින් දැඩි ලෙස ග්‍රහනයට ගෙන නොතිබූ නිසාත් යම් අස්වැසිල්ලකින් සිටීමේ හැකියාවක් අපිට තිබුණි.

එවකට බොහෝ සවස් කාලයන් හි “පාපැදියකින්” පැමිනි පණිවුඩකරුවෙකුගේ හඬින් රාත්‍රියේ පහන් දැල්විය යුතුද නැතිද යන වග සැකහැර දැනගතව තිබුණ අතර එවන් දිනයන්හි විදුලිබලය තිබුණද අපි කාලය ගතකළේ අඳුරුවූ නිවෙස තුළ “ඇඳිරි නීති” යෙනි. අද මෙන් තොරතුරු තාක්ෂණික මෙවලම් කිසිවක් නොවු එකල එස්.ඩබ්ලිව්. මීටරය කරකවා අමරුවෙන් අල්ලාගන්න “වෙරිටාස්” ගුවන් විදුලියෙන් වාරණයවූ පුවත් අසාගත්තේ විනාඩි කිහිපයකට චුරු චුරු හඬ අතරිනි. බොහෝ රාත්‍රියන් කිසිදු හැල හොල්මනකින් තොර නිසල රාත්‍රියන් වූ අතර, ඉඳහිට හෝ ඒ නිහඬතාව බිඳවැටුනෙ ඈතින් ඇහුන වෙඩි හඬකින් හෝ නුදුරුව තිබුණ “මහ හේන” වත්තෙන් (අද කටුවාන කාර්මික ජනපදය) ඇහුණ “නරි රැලකගේ” හූ හඬකින් පමණි. නමුත් එදා 1989 ජුලි මස 30 වනදා, ඒ මූසල රාත්‍රියේ මුවන්පැලැස්සේ සිහින් හඬට සවන්දෙමින් සිටි අපි තිගැස්සුනේ ඉතාම ආසන්නයෙන්  අවට නිහඬතාවය බිඳ දමමින් ඇහුණ වෙඩි හඬ කීපයක් නිසාය. ඒ සමගම අම්ම කියනව “ඒක නම් එගොඩ පැත්තෙන්” ඇහුනෙ කියල. මොන තරම් දේවල් වටාපිටාවෙ සිදුවුණත් අපි කිසිකෙනෙක් ඇඳිරි වැටුණට පස්සෙ එලිපහලියට ගිය කාලයක් නෙමෙයි ඒ කාලය. පසුදා උදෑසන අවදිවුණාට පස්සෙ මට ඇහෙනව අම්ම කියනව.. ඊයෙ රැ “ප්‍රේමකීර්ති මහත්තය නාරංගහහේන පාරට ගෙනල්ල මරල දාලා. අර ඊයෙ රෑ ඇහුණ වෙඩි සද්දේ ඒක තමයි” කියල..

ප්‍රේමකීර්ති මහත්තය… ඔහු මට මුලින්ම හමුවුණේ වෙලෙන් එගොඩ අපේ අම්මගේ මහගෙදරට නිතවරම ආව ගිය, අපේ ආතාව මාසයක් පාසා කොලඹ මහ රෝහලේ පැවති හදවත් චිකිත්ස සායනට එක්ක ගිය එවකට ආතාගේ හොඳම හිතවතෙක් විදිහටයි. එවකට අම්මගේ මහගෙදරට යාබදව තිබුණ එච්.පී.ටී. නිවාස සංකීර්ණයේ බොහෝ දෙනෙක්  ආතා සමග හිතවත්ව සිටියත් “ප්‍රේමකීර්ති මහතා” ඊට වඩා එහා ගිය හිතවත් කමක් ආතා සමග ගොඩ නාගාගෙන තිබුණා. සමහර අවස්ථාවල ගෙවත්තේ කොනක ස්ටූලයක් සහ පුටු දෙකක් තබාගෙන එක් පුටුවක ඔහු ද තව පුටුවක අගන්තුකයෙක් ද වාඩිකරවාගෙන කඩදාසියක යමක් ලියන ආකාරය දකින්න ලැබුණා. එවන් මොහොතක ඒ මේසය මත ඔවුන් “මධුවිතක් ද” සප්පායම් වූ බව මගේ මතකේ රැඳී තියෙනව. ආතා කලාතුරකින් මදුවිත සප්පායම් වුණත්, ඔහුට හිතවත් අයට මධුවිතින් සංග්‍රකිරීම ඔහු කිසි විටෙකත් පැකිලුනේ නෑ, ප්‍රේමකීර්ති මහතාට අවැසි ඕනේම මොහොතක ඒ වෙනුවෙන් ආතා සූදානම්ව සිටීමත් ඒ දෙදෙනා අතර පැවති හිතවත්කම තවත් තීව්‍රකිරීමට හේතු විය. එදා ඒ ස්ටූලයේ අනෙක් කොන සිට මදුවිතත් තොලගා ගී පද ලියාගත් අය කවුන්ද කියා මා නිවැදිව හඳුනා නොගත්තත්, එවකට බොහෝ ජනප්‍රිය ගායකයන් එසේ පැමිනෙන බව ආතා පවසනවා මට මතකය.

නානාවිධ පලතුරු ගස්වලින් සපිරුණ අම්මාගේ මහගෙදර දී මා අවසන්වරට “ප්‍රේමකීර්ති මහතා” හමුවන දා ඔහු මට ද “රතු ජම්බු” ගසකින් ජම්බු කඩාදී ඔහුද රැගෙන ගිය අන්දම තවමත් මගේ මතකයේ රැඳි තිබේ. “ප්‍රේමකීර්ති මහතා” සාහසික වෙඩි පහරින් මියයන තෙක්ම “ආතා” සමග ඒ මහතාගේ නිසාන් සනී වර්ගයේ වැගන් රථයෙන් කොලඹ මහ රෝහලට වසර කිහිපයක් පුරා ගිය වග ද මට මතකය. ඒ හැමදිනකම රෝහල් චිකිත්සාව අවසන් කර කොළඹ නගරයේ මදුවිත සපිරි අවන්හලකට ගොඩවැදී “සප්පායම්” වන බව ආතා ආගිය දෑ සමග පවසනු අපි අසා තිබුණි. එවන් දිනයක ආගන්තුකයකු විසින් “කඩදාසියක කුරුටුගෑ මරණ වරෙන්තුවක්” ප්‍රේමකීර්ති මහතා අත තැබූ බවත්, කියවූ සැනින් එය මිටින් පොඩිකර විසිකර දැමූ බවත් ආතා පවසනවා මට මතකය.

උදෑසනම ලැබුණු ඒ දුක්බර පුවත ඇසු සැනින් අපි හනිකට වත්ත පහල වෙලෙන් එගොඩ වී මහ ගෙදරට ගියේ සිදුවීම තවදුරටත් තහවුරු කරගැනීම සඳහාය. ඒවන විටත් කිහිපදෙනෙක්ම මහගෙදරට පැමිණ සිටියේ ආතා ප්‍රේමකීර්ති මහතාගේ ළඟම හිතවතෙක් බව බොහෝ දෙනා දන්න නිසාය. දරාගත් නොහැකි ශෝකයක් සහ ආවේගයක් සහිතව ආතා කතා කළේ “ප්‍රේමකීර්ති මහතාගේ” වියෝව දරාගත නොහැකිවය. එදින රාත්‍රියේ ප්‍රේමකීර්ති මහතා නිවෙසින් රැගෙන ගිය පසු එවකට සිය කිරිකැටි පුතුණුවන්ද රැගෙන ඔහු සොයාගිය මහපාරේ හඬා වැටෙමින් ප්‍රේමකීර්ති මහත්මිය ගිය වගක්ද, තමාට ඒ හඬ නොඇසුණු වගක්ද ආතා අපේක්ෂා භංගත්වයෙන් යුතුව පවසනු මතකය. ඊට පසුදා උදෑසන නිසල දේහය නිවසට රැගෙන ආ අතර අවමගුල් උත්සවය අවසන්වන තුරුත් දින 7 ගෙවෙන තුරුත් පැමිණි සියලු දෙනාට ආහාර පාන සැකසීම අපේ මහගෙදර සිදුකළ අතර ඒ වෙනුවෙන් වික්ටර් රත්නායක මහතා ඇතුළු එවකට ප්‍රේමකීර්ති මහතාට හිතවත් පිරිසක් බරපැන දැරු වග ආතා පැවසුවා මතකය., බොහෝ අසල්වැසියන් අවමගුල් නිවසට “කෝපි සංග්‍රහයක්” වත් ලබා දෙන්නට  මැලිකමක් දැක්වූයේ එවකට පැවති “භීෂණය” තත්ත්වය නිසා ඔවුනට බැටකන්නට සිදුවේයැයි වන බියෙනි. එතැන් සිට තවත් කාලයක් යනතුරු ප්‍රෙමකීර්ති මහතාගේ මතකය ආතා වරින් වර ආවර්ජනය කරනු මම අසා ඇත්තෙමි.

සැබැවින්ම එදා ඒ ලෙන්ගතුකමින් පිරිපුන් සැබෑ මිනිසෙකු ලෙස මා දුටු ආතාගේ හිතවතා ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ සටහන් කර නික්මුණ ආනන්දනීය ගීතාවලිය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ තැබු අමරණීය හඬ  පිලිබඳ මට පසක්වූයේ කලකට පසුවය. එදා ඒ මහගෙදර ගෙවත්තේ කොනක මදුවිතක් තොලගාමින් ලියූ සටහන්, අද ගැයෙන අමරණීය ගීත වන්නට හැක. ඔහුගෙන් ගී පද ලියාගත් කෙනෙකුට, මා මේ කියන අපේ අම්මගේ මහගෙදර සහ ආතා ගැන මතකය අවදි වනු ඇත.

Screenshot at Oct 05 22-35-53.pngප්‍රේමකීර්ති මහතාගේ වියෝවෙන් පසු එම මහත්මිය සහ පුතණුවන් තවත් කලක් එච්.පී.ටී නිවාස සංකීර්ණයේ වාසය කළ අතර පාසල් යන වයසට පැමිනි පුතු ආනන්ද විද්‍යාලයට ඇතුලත් කළ අතර වරින් වර මගතොටදී එම මහත්මිය පුතු ද සමග ඒ මහතා ගමන්කළ නිසාන් සනී වර්ගයේ වැගන් රථය පදවාගෙන යන එන අයුරු මතකය. ප්‍රේමකීර්ති මහතාගේ වියෝවෙන් වසර 10 කට පමණ පසු මගේ අම්මාගේ පියා වන අපේ ආතා “බාලසූරිය ඉස්කෝලෙ මහත්මයා” ද දිවි සැරිය නිමා කළේ එදා සිට ආතාගේ මතක ආවර්ජනා සියල්ලක්ම අපටත් මතකයන් බවට පත්කරමිනි. අද වන විට මේ මේ සියලු වටාපිටාවන් වෙනස් වී ඇතත් අදත් හෝමාගම කටුවාන හංදියෙන් දකුණට හැරී යනවිට හමුවන පළමු තුංමං හංන්දියේ 1989 අගෝස්තු මස පළමුවැනිදා උදෑසන විසිරී තිබෙනු මා දුටු, කාගේ හෝ උවමනාවට සාහසික ලෙස පෙරදින රාත්‍රී ඝාතනයට ලක්කරමින් දැයට අහිමි කළ, එදා රූපවාහිනී, ගුවන්විදුලි හා ගීත මාධ්‍යයන් එකළු කළ අසහාය නිර්මාණකරුවාණන්ගේ ලේ කැටි අදත් මගේ මතකයේ සදාතනිකව ඇත.

ප්‍රේමකීර්ති ද අල්විස් සැමරුම් ඇසෙන බොහෝ විටෙක මට මේ මේ අතීතය ආවර්ජනය වූවත් මේ “මතකයේ සටහන” තැබීමට හේතුවූයේ, මා හිතවත් චින්තක රණවීර සොහොයුරාගේ සංකල්පයක් අනුව නාලන්දා ආදි ශිෂ්‍ය සංගමයේ ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කළ ප්‍රේමකීර්ති ද අල්විස් සමරු ගීත ප්‍රසංගය “සඳකැන් වැසිලා” 2017 නොවැම්බර් මස 12 වන දින සවස 6.00 ට නෙළුම් පොකුණ රඟහලේදී ගැයෙන මොහොතකදීය.

Advertisements

කාලයක් තිස්සේ නිහඬ වෙලා තිබුන මගේ මතකයේ සටහන ආයෙත් ලියන්න ලොකු උවමනාවක් තිබුනා.. ඒත් ඒක පටන්ගන්න තැනක් සොයාගන්න බොහෝ දවසක් ගතවුනා.. ගෙවීගිය කාලයේ “මතකයේ සටහන” අලුත් කරන්න බැරිවීම ගැන කණගාටුයි.. එදා මම සටහනක් ලියපු හැම විටෙකම මගේ බ්ලොග් අඩවිය කියවන්න එකතුවුන අය වරින්වර මගේ මතකයේ සටහන ගැන පහුගිය කාලය පුරාම මතකය අවදි කලා.. මගේ අන්තිම මතක සටහන ලියපු දවසේ අපේ ලෝකයට එකතුවුන පුංචි අමුත්තා “පලිඟු හසරැල්”.. අද චුටි මල්ලියෙක්.. අම්මිගෙ තාත්තිගෙ “පුංචි පුතා”.. දැන් පුන්චි චන්ඩියෙක් වෙලා.. “ලොකු පුතා” පාසල් යන වයසට එලඹිලා.. අම්මිගේ, තාත්තිගේ ලෝකය පුතාල දෙන්න එකතුවෙලා ගොඩාක් වෙනස් කරලා..

ගෙවී ගිය කාලය පුරා ජීවිතය බොහෝ හැල හැප්පීම් මැද ගත වුන නිසා මගේ සටහනට මද විරාමයක් ලැබුනත් කොයි මොහොතක හෝ නැවත ආරම්භයක් වන දවසක් තිබුනා. ඒ නැවත ඇරඹුමට පියවරක් තබමින් මම කාලෙකට පෙර සටහන් කල නමුත් අදටත් කාලෝචිත සටහනක් මේ සටහන නැවත පල කරන්නට අදහස් කලා. මීට වසර දෙකකට පෙර වෙසක් දවස වෙනුවෙන් ලියවුන මේ සටහන සැබවින්ම මගේ මතක ආවර්ජනයක්..

අපෙන් ගිලිහෙන බැතිබර දවසෙක, පුංචි පුතුට අටපට්ට්මක්

සදහම් සිසිලස දසත පැතිරුන තවත් වෙසක් දවසක් උදාවෙලා, වෙසක් දවසට හමන ඒ සීතල සුලඟ හැමදාමත් එක වගේ.. ඒ සුලං රැල්ලට තාලෙට නැලවෙන සව්කොල රැලි.. සුලඟට පාවෙලා එන ඝණ්ටාර හඬ තවමත් ඉතිරිවෙලා.. හිටි අඩියේම දන්සැලකින් නැගෙන තාරුණ්‍යයේ අඳෝනාවකින් වෙසක් සිසිලසේ නිසංසල බව බිඳී යනවා.. පුංචි පුතා එක්ක එකතුවෙලා හවසට එල්ලන්න වෙසක් කූඩුවක් හදාගන්න ඕනේ.. ඔට්ටපාලු, බට පතුරු සොයාගෙන ලන්ද දිගේ දුවන්නෙ කොහොමද.. ඒ සියල්ල අතීත මතකයන් විතරයි…

ඉස්සර වෙසක් දවස් ලං වෙනකොට අපිට වැඩ ගොඩයි.. වෙල් ඉස්මත්තෙ තිබුන බට පඳුරෙන් හොඳ බට ගස් දෙක තුනක් කපා ගන්න… ආතාට කියල ඔට්ටපාලු බෝල දෙක තුනක් ගෙන්න ගන්න… එහෙමත් නැතිනම් රබර් වත්තෙ දුව ඇවිදල ඔට්ටපාලු ගලවගන්න… බෝනස් එකට රබර් ගෙඩි පොත්තෙන් රූං පෙත්තක් හදා ගන්න.. මොනතරම් සුන්දර කාලයක්ද? ඒත් දශක දෙක තුනක් ගෙවිල ගිහින්… අපේ පුංචි පුතාට මේ වගේ අත්දැකීම ගැන හිතන්නත් අමාරුයි…

රබර් ගස් ටික ගලෝල, ඉඩම ඩෝසර් කරල, අලුත් ජනාවාසයක් බිහිවෙලා.. දැන් එක පුංචි ජනපදයක් වගේ.. වෙල් ටික පුරන් වෙලා, නියර බඩවැටි උඩින් කොන්ක්‍රීට් පාරවල්, තාප්ප හැදිල… බට ගහක සේයාවක් වත් නැහැ…

අපි ඉස්සර කූඩු බලන්න යන්නේ තමයි වෙසක් දවසේ රෑට රන්චු ගැහෙන්නෙ.. අද පාර තොටේ හන්දියක් ගානේ පාට පාට වෙසක් කූඩු බැබලෙනව. ඒත් ඒ වෙසක් නිසා විකිනෙන වානිජ භාන්ඩයක් මිස සම්බුදු තෙමගුල වෙනුවෙන් කරන ආමිස පූජාවක් නොවේ.වෙසක් කූඩු විකිනෙනව අපි පුංචි කාලෙ දැක්කෙ කිරුලපොන හන්දියේ.. එදා එහෙම දෙයක් දැකපු වෙලාවෙ අපේ අම්ම කිව්වෙ.. නගරයේ ඉන්න අයට අපිට වගෙ බට පතුරු ඔට්ටුපාලු නැති නිසා එව්වා හදල විකුනනව කියල.. ඒත් අද.. වෙසක් කූඩුවක් විකුනන් නැති පාර තොටක් සොයන්නත් අමරුයි. දැන් තියෙන්න රෙඩි මේඩ් වෙසක් කූඩු සමහර විට ඊලඟ වෙසක් එකටත් තියා ගන්න පුලුවන්.. මොකද ප්ලාස්ටික් වලට ගුල්ලො ගහන්නේ නැති නිසා…

පාරේ කඩපිල් වල එල්ලෙන වෙස්මුහුණු ටික දැක්කම පුදුම දුකක් දැනෙනව, ඉස්සරනම් කඩදාසි පල්ප වලින් හදල වෛවාරන පාට ගාල හදල තිබුන කෝලම් මුහුණු ටික දැක්කම පුදුම ආසාවක් දැනෙනව. ඉස්සර වෙසක් ලංවෙලා ආතා ටවුමට ගියොත් අපිට වෙස්මුහුණු තුනක් ගෙනත් දෙනව අද වගේ මට මතක් වෙනව.. ඒත් අද.. ප්ලාස්ටික් වලින් හදපු ඩිස්නිලන්තේ තරු කඩපිල් වල එල්ලෙනව.. වෙසක් එකට “මිකී මවුස්” තමයි අපේ පුංචි අයට මුහුනේ දාන්න වෙන්නේ.. එහෙමත් නැතිනම්.. විකාර රූපි “හැලෝවින්” මුහුණුත් උනු කැවුම් වගෙ විකිනෙනව.. අපේ කෝලම් මුහුණු ටිකයි ඔලුබක්කො ටිකයි කාලයත් එක්ක වැලලිලා යනව..

හැමදෙයක්ම එහෙමයි.. වෙසක් දවසේට පන්සල් අඳින විලාසිතා මේ දිනවල “සීමාවක් නැති විලාසිතා මකුනන්” ගේ වීදුරු රාක්කවල දිස්වෙනව. ඒ අතරෙ සංකර ඇඳුමක් අපේ නෝනා මහතුනට සොයාගන්න නැති තරම්.. සම”හරක්” වානිජ වටිනාකමට ලංසු තියන්නේ අපේ සංස්කෘතියේ උරුමයන් සමග නිසා ගිලිහීයන්නේ අපේම නූපන් දූ පුතුන්ගේ හෙට දවස බව නොදැනීම මහත් අවාසනාවක්… බෞද්ධ කොඩිය කරේ දාගෙන බීච් ෂෝට් , ස්කිනි වලින් සැරසුන කොල්ලො කුරුට්ටො පන්සල් එන දවස ලඟ ලඟම එන සේයාව අපිට දැනෙනව..

ඒ දවස් වල වත්තෙ පොල් ගස්වලින් වැටිල පැලවෙන්න යන පොල් වල මද ගලවල වේලගන්නේ වෙසක් එකට පහන් වැටක් පත්තු කරන්න හොඳ කොප්පර තෙල් ටිකක් හිඳගන්න… ඉරිද පොලේ අමු පොල් අතු වට්ටියේ දාල විකුනන මැටි පහනකටත් වඩා වත්ත පහල කදුරු ගහෙන් ගෙඩි ටිකක් එකතු කරගන්න තිබුන නම් ඊට වඩා සතුටක් නැහැ.. ඒත් අද.. පොල් තෙල් එක්ක එකතුකරල දෙන ෆාම් ඔයිල් වලින් .. නැතිනම් පහන්තිරයත් එක්ක ඉටිවක්කරල එන මැටි පහනකින් එදා සමරපු බැතිබර වෙසක් මංගල්‍ය ආලෝකමත් කරන්න හැකිවේද?

ගේ ඉස්සරහ හිටවන්න හොඳයි කියල අපේ අම්ම පුංච් උණ පඳුරක් හිටවපු එක කොයිතරම් වාසනාවක්ද? ඒකෙන් උණ ගස් කෑල්ලක් කපාගෙන රබර් පටි ටිකකුත් හොයාගෙන අටපට්ට්මක්වත් අටවන්න ඔනේ පුංචි පුතාවත් එකතු කරගෙනම. එහෙම නොවුනොත්, අන්න පුතේ “අටපට්ට්ම” කියල අපි වෙසක් කූඩුවක් පෙන්නන දවසක .. ඒ මොකක්ද තාත්තේ “අටපට්ට්ම” අහවල් දවසේ රෑ ටීවී එකේ නේද පෙන්නනේ කියල අහාවි..

(මනංකල්පිත ප්‍රබන්ධයක් නොවේ)

පුංචි අමුත්තෙක් අපේ ලෝකයට එකතුවෙලා.. අපේ පුතුට “මල්ලියෙක්”.. අම්මිට තාත්තිටයි තවත් “පුංචි පුතෙක්”.. පුතා දැන් අයියා කෙනෙක් වෙලා…  ඒ විතරක් ද “ලොකු පුතෙකුත්” වෙලා.. අද හිමිදිරි උදෑසන මිහිකත දුටු අරුණාලෝකයත් එක්කම අපේ ලෝකයට එකතු වුන පුංචිම පුංචි අමුත්තා අම්මිගේ, තාත්තිගේ සහ පුතුගේ ලෝකය වෙනස් කලේ ඒ විදිහටයි..

පුංචි අමුත්තා අපේ ලෝකයට එකතුවෙන්න කලින් ඊයේ උදේ බ්‍රාහ්මණගම, දූව රජමහා විහාරයේ කවදත් අපේ “පොඩි හාමුදුරුවෝ” වන ලොකු හාමුදුරුවන් හමුවෙලා, පිරිත් ටිකක් අහල ආශිර්වාද කරගන්න ගිය වෙලාවේ කරපු අනුශාසනාව “දරුවෙක් ලැබෙනකොට ඒ දරුව අයිති මේ මහා විශ්වයට… ඒ දරුවා අපේ ජාතිය, ශාසනය ආරක්ෂා කරන මුලුමහත් විශ්වයට වැඩදායි දරුවෙක් වෙන්න ඕනේ.. අම්ම තාත්තා කියන්නේ එහි වගකීම ඉටුකරන්න බැඳිල ඉන්න අය..”

පුංචි අමුත්තා අපේ ලෝකයට එකතුවුන පුවත “ෆේස් බුක්” වෙබ් අඩවියට එකතු කල වෙලාවේ තුසිත එකතු කරල තිබුන “අදහස” දුටු සැනින් මේ පුංචි සටහන ලියන්න හිතුනා. ඒ අදහස පණ්ඩිත් අමරදේව ශූරින් ගයන අර්ථාන්විත පද පෙලක්.. ලොකු හාමුදුරුවන්ගේ අනුශාසනාව ප්‍රාර්ථනාවක් නම්.. ඒ ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වුන මොහොතක නිතැතින්ම..

සතර වරම් දෙව් මහරජු සතර අතින් ඇවිදින්…
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිණිත්තෙන්…

ඒ විතරක් ම නොවේ.. මේ පද පෙලත් අද දවසට අර්ථාන්විත වේවි…

පලා පෙති බැඳන් ගෙලවට හංස පියාපත් සලමින්…
නුඹේ පා යටින් සඳකඩපහන පායලා…
බ්‍රහස්පතී තාරකාව නුමුන්වී සරස් නුබ ගැබ…
ස්වර්ණමාලි මහ සෑ අග කොත් පලන්දලා…

කලා වැව් දියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට…
අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා…
වලාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස…
ඉසුරුමුනි විහාරය ලඟ අන්න ඉන්නවා…

පුංචි අමුත්තා අම්මිත් එක්ක රෝහලේ තියල ගෙදර ආවේ ඇහැ ටිකක් පියාගන්න… “තුසිත” මට එකට ඉඩක් තිබ්බෙ නැහැ… ඒ පද පේලිය කියවල.. ඊයෙ ලොකු හාමුදුරුවො කියපු කතාව එක්ක ගැලපුවහම… දැනුන සිතුවිලි කොහොමද නොලිය ඉන්නේ..  ඒත් දිග සටහනක ලියන්න වෙලාවක් නැහැ.. ආයෙත් දැන් ගෙදරින් පිට වෙන්න වෙලාව හරි… අපේ “පොඩි පුතුගේ” උපන්දිනය දා තාත්තා ලියු මේ සටහන… “පොඩි පුතුගේ” මතකයේ සටහනක් වෙවි…

ඩී.එල්.සී ආයතනයේ ගෙවුන වසර කිහිපයට මම ලංකාව පුරා කිහිප වරක් ගිහින් ඇවිල්ල වගේ කියල සමහර වෙලාවට මට දැනෙනව. පේදුරුතුඩුවේ සිවසිතම්බරම් විදුහලපති තුමාගේ සිට මාතර හක්මන වසන්ත ගුරුතුමා දක්වා ලංකාවේ ඉහල කෙලවර සිට පහල කෙලවරට මතකයේ රැඳුන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතුරෙන් බොහෝ දෙනෙක් කලකින් හමු නොවුනත්, වරින් වර ඊමේල් පණිවුඩයක් හෝ එවන්නට අමතක කරන්නේ නෑ. මේ සියලු දෙනා වෙත පැවති වැඩමුළු වලදී තොරතුරු තාක්ෂණ සම්පත් දායකත්වය ලබා දෙන අතරතුර මට සහය දුන් පිරිසක් එම ආයතනයේ හිටියා. ඒ අතරින් සුලේක අමතක නොවන කෙනෙක්. සුලේක සෑම විටම පැවරුන කාර්‍යය නිවැරදිව ඉටු කරන්නට උත්සාහ කරන අතර සමහ දිනෙක රාත්‍රියේ ලබාදෙන දුරකථන ඇමතුමකින් පසුදා නිබන්ධන පිලියෙල කරන අයුරු සිදුකරන ආකාරය දන්නේ ඔහුත් මමත් පමනි. සෑම විටම මුවග සිනහවක් රැඳි ඔහු වැඩමුළුවලට සාභාගිවන අය අතරේද සිත් දිනාගත්තා. එක්තරා දිනෙක වැඩමුලුවක් ආරම්භ කරන්නට පෙර මා වෙත පැමිනි ඔහු, එහි පැමිනි එක්තරා ගුරු මහතෙකු හඳුන්වා දුන්නේ ඔහුට ලබාදිය හැකි ඉහල සම්මාන සහිතව, සුලේක කිසිම විටෙක් එවන් හැඳින්වීමක් කිසිම කෙනෙකුට ලබා දී නොමැති නිසාත්, අතර තුර මා ඔහු හා කල කතාබහ නිසාත් එම ගුරුවරයා සමග හිතවත්කමක් ගොඩනංවා ගැනීමට මට හැකි වුනා. මේ අයුරින් චිත්‍ර කලාව පිලිබඳ උපාධියක් සහිතව තොරතුරු තාක්ෂන විෂය දකුනු පලාතේ නෙලුව ආශ්‍රිත ගම්මානයක ඉගැන්වු “සාගර සඳරුවන්” මම මුලින්ම දැන හඳුනාගත්තා. හදිසියේම සාගර ගැන සටහන් කලේ පසුගිය 17 වනදා මම සාභාගිවූ චාරිකාව ගැන සටහනක් තිබීමේ අරමුනින්.

Read the rest of this entry »

හරියටම මතකයි ඒ දිනය, 2011 දෙසැම්බර් 29 වෙනිදා දවල් මම කොටුවෙ දුම්රිය ස්ථානයෙන් හෝමාගම බස් රථයකට ගොඩ වෙන්නේ අනුරාධපුර සිට කොලඹ පැමිනි දුම්රිය පැය කිහිපයක ගමනකින් පස්සෙ. උතුරු මැද පලාත් සභාවේ අමාත්‍යංශ සහ දෙපාර්තමෙන්තු වල වෙබ් අඩවි නිර්මාන වැඩමුලුව අවසන් වෙලා කලින් දින රාත්‍රියේ කොලඹ එන්න යොදාගෙන තිබුනත් අවසන් මොහොතේ ආසන වෙන්කරගන්න නොහැකි වුන නිසා පහුවෙනිද පාන්දරින්ම වව්නියාවේ ඉඳල එක දුම්රියට අනුරාධපුරෙන් ගොඩ වෙන්න සිදුවුනා. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් පිටත් වුන බස් රථය යුනියන් පෙදෙසට ලඟාවෙනවත් එක්කම දුරකතනය නාද වුනා. නමක් නොතිබුන නොම්බරයක් වුනත්, බස් රථයේ හිටියත් මම ඒ ඇමතුම ලබා ගත්තා. “දෙනුවන්, මම සුනන්ද, විජය නිව්ස්පේපර්ස්” ඉතාම කෙටියෙන් මට ඔහුව හඳුනාගත හැකි වන ඒ හැඳින්වීම එහා අන්තයෙන් මට ඇහුනා..

Read the rest of this entry »

සරසවියේ අපි එක්ක එකට හිටියේ අපේ “බැච්” එකෙ අය විතරක් නෙමේ.. අලගමනය වුන ජ්‍යෙෂ්ඨයො වගේම සුපිරි ජ්‍යෙෂ්ඨයොත් ඒ එක්ක ඉතාම ලෙන්ගතුව හිටියා.. ඒ අතරින් කිහිපදෙනෙක්ම සරසවි ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වරම් දිනාගෙනත් තිබුනා.. කපිල සහ මයුර ඒ  අතරින් අපිත් එක්ක ලඟින්ම හිටපු අය..

Read the rest of this entry »

පසුගිය දින කිහිපය තුල මතකයේ සටහන අකුරු කරන්නට ඉස්පාසුවක් ලැබුනේ නෑ, ඒ කොහොම වුනත් “මතකයේ සටහන” ගැන ඔබෙන් ලැබුන සටහන් අඩුවක් වුනේ නෑ. මතකයේ සටහනේ ෆේස්බුක් පිටුව සහ බ්ලොග් අඩවිය සමග එකතුවෙන ඔබ සියලුදෙනාටම මගේ ස්තුතිය..

සරසවි මතකයේ රස පිරිනු තැන් ගැන මතක් වෙනකොට කොතනින් පටන් ගනන්ද කියල හිතාගන්න බැහැ.. කොහොම නමුත් මේ ලියන සටහන ඒ මතකයෙන් අහුලාගත් එකක්. වසර තුනක සරසවි ජීවිතය අවසන් කරල මම කොළඹ ආවත්, මගෙ එක්ක හිටපු බොහෝ දෙනෙක් හතරවෙන් වසරෙත් සරසවියෙ රැඳුනේ ඔවුන්ගේ පාඨමාලා වසර 4 ක විශේෂ උපාදි පාඨමාලා වීම නිසා. අපි තුන් වෙනි වසරෙන් සරසවියෙන් නික්මෙනකොට එන අලුත් “බැච්” එක අපේ ඉතිරි කට්ටියට සම්පතක් වුනා.. අන්තිම අවුරුද්දේවත් “හිච්” වීමේ සිහිනයෙන් සිටි බොහෝ දෙනෙක් ගේ පැතුම් සඵලවුනෙ අලුත් “බැච්” එකත් එක්ක. සමහරු කිව්වෙ අපි එක්ක වලේ වැටිල හිටපු කොල්ලෝ ටික අපි ගියාට පස්සෙ ගොඩ ගියා කියලා.. හැබැයි ඒ කියන අපි අතරෙ මම හැරුන විට හිටියේ තව ටික දෙනෙක් විතරයි..

Read the rest of this entry »