සරසවියට ආ මග..

මැයි 27, 2012

සරසවි ජීවිතේ කියන්නේ හැමෝටම වගේම මටත් රසබර අත්දැකීම් බොහොමයක් අත්විඳින්න ලැබුනු කාලයක්… පේරාදෙණිය සරසවිය කියන්නෙ ඒ අත්දැකීම වලින් ඉහලම රසාස්වාදයක් ගන්න පුලුවන් තැනක්. උසස්පෙල ලියන කාලෙදි “වෛද්‍ය ප්‍රදර්ශනයක්” බලන්න අපි කොලඹ ඉඳල නුවර ආවේ කෝච්චියෙන්, සරසවි උයන දුම්රිය ස්ථානයේ බැහැල අපි ප්‍රදර්ශන භූමියට ලඟා වුනේ කියල නිම කරනන් බැරි ලස්සන පරිසරයකින්, ප්‍රදර්ශනය බැලීම කොහොම වෙතත් කට්ටිය හන්තාන පැත්තට නම් ගියා කියල මතකයේ තියෙනව. එදා ඒ ගමන නිම කරල ආපසු කොළඹ එද්දි කවදාවත් එතනට ඉගෙන ගන්න යන්න ලැබෙයි කියල හිතුනේ නැහැ.. උසස්පෙල පලමු උත්සාහයේ ප්‍රථිපල ආවම තිබුනේ එකම “බී” සාමර්ථයක් විතරයි, එකත් රසායන විද්‍යාවට. නාලන්ද විද්‍යාලයේ මගෙ පන්ති බාර ගුරුතුමා “එරබද්ද සර්” ඇහුවෙ “තමුසේ කොපි කලාද” කියල. නමුත් රහස තිබුනේ එතන නෙමේ. එද මම රසායන විද්‍යාව ඉගෙන ගත්ත අතිරේක පන්තියේ ගුරුතුමාගේ. “බුලත්සිංහල සර්” ගැන ලියනන් ගොඩක් දෙවල් තියෙනව.. ගණිත විෂය මාලවෙන් උසස්පෙල කරපු මට සරසවි ප්‍රවේශයේ මංපෙත් විවර කරගන්න ලැබුනෙ “බුලත්සිංහල සර්” රසායන විද්‍යාව කියල දුන්න ඉගැන්වීමේ කලාව නිසා. අවාසනාවකට පසුගිය දශකයේ මුල් කාලයේදි සර් අපිට නැති උනා.

දෙවැනි වර උසස්පෙල ප්‍රථිපල ආවම මට “ඒ” එකයි, “එස්” දෙකයි “එෆ්” එකයි, හැබැයි ප්‍රථිපල ලෙඛනයේ ඉස්සරහින්ම “යස්” තියනවා. ඒ කියන්න “සරසවි වරම්” තියෙනව. ඒත් කවුද හිතුවෙ පේරාදෙණිය  ලැබෙයි කියල.. 94 ප්‍රථිපල ඇවිල්ල අවුරුදු කීපයක් නිකරුනේ ගෙවිල ගියා.. 96 දවසක ගෙදරට ලිපියක් ආවා. මාව තෝරගෙන විශ්වවිද්‍යාලයට, කොහෙද.. පේරාදෙණියේ.. කියලා නිම කල නොහැකි සතුටක්.. මම සරසවියට තොරාගත් සතුට මටත් වඩා දැනුනේ අම්මිට. “මේ ටික කරපු එකෙ එකත් අපි කොහොම හරි කරමු” අම්මි කිව්ව මට අද වගේ මතකයි.

ඒ වෙනකොට මගෙත් එක්කම එකට පාසල් ගිය ජීව විද්‍යාවෙන් උසස්පෙල කරපු සංජය ඩයස් ව දන්ත වෛද්‍ය පීඨයට තෝරාගෙන තිබුනෙ. මුලින්ම තියෙනෙ ඉංග්‍රීසි පාඨමාලව නිසා මමත් සංජයත් එකම නෙවාසික ස්ථානයක් තෝරාගන්න තීරනය කලා. මට සරසවි පටන් ගත්තෙ 1997 ජනවාරි 15 වෙනිද, නමුත් සංජයට ජනවාරි 01 වෙනිද. ඉතින් 31 වෙනිද අපි සංජයගේ බඩු මලු ටිකත් අරගෙන නුවර බස් එකෙ නැග්ග. සංජයගෙ තාත්තත් අපි එක්ක ගමනට එකතු වුනා..  ගැටඹේ හන්දියෙන් බැහැල බෝඩිම හොයාගෙන රජවත්ත පාර දිගේ බෑග් මලු කරේ තියාගෙන අපි ගිය මට අද වගෙ මතකයි.. හැමදාම නම් මෙහෙම යන්න බැහැ.. කොච්චර දුරද මෙ ගමන.. අපි මගදි කිව්ව.. දුර ගමනක් ගෙවාගෙන රජවත්තෙ ක්‍රීඩාපිටිය ගාව තියෙන පුංචි නිල නිවාසයකට අපි ගොඩ වැදුනේ අපේ නේවාසික කාමරය එම නිවසේ වූ නිසා. ආ ගිය ගමන් තොරතුරු සමග අපේ ගමන් මග හෙලිකල විට “අයියෝ.. පොලිසිය ලඟින් බැහැල ඔතන රේල් පාරෙන් පැන්නනම් කොච්චර ලඟද” කියා බෝඩිමේ ඇන්ටි කියු විට තමයි අපිත් කරල තියෙන්නෙ “පරන්ගියා කෝට්ටේ ගියා” වගෙ වැඩක් නේද කියල තෙරුනේ.. මම එදිනම ආපසු කොළඹ ආවත්.. නැවත වතාවක් මගෙ බඩු මලු ටිකත් එක්ක 1997 ජනවාරි 15 වෙනිද වෙනකොට ඒ බෝඩිමටම පැමිනුනා.. ඒ පේරාදෙණිය පොලිසිය ගාවින් බැහැල, රේල් පාර පැනල.. සරසවියෙන් නික්මිලා යනකල්ම ආයෙත් කිසිම දවසක ගැටඹෙන් බැහැල රජවත්ත පාර දිගේ පයින් ආවෙ නැහැ.. සංජය, මම හැරුනුකොට අපි එක්කම එකට අමතර පන්තිවලට සාභාගිවුන මගේ පාදුක්කේ මිතුරෙක් වන දන්ත වෛද්‍ය පීඨයට තෝරාගෙන සිටි බුද්ධිකත් අපේ කාමරේ හිටිය.

එදා පටන්ගත්ත ඒ සරසවි ජීවිතයතුල ලද අත්දැකීම් සහ මතක සටහන් කිසි දවසක අමතක නොවන ඒවා බව පැහැදිලිය. මගේ මතකය සරසවියට පිය මනින්නට පෙර අපේ බෝඩිම ගැන යම් සටහන් නොතියාම බැරිය. සිය රාජකාරි දිවියෙන් විශ්‍රාම යාම ආසන්නව සිට් බෝඩිමේ අංකල්  සරසවි ආරක්ෂක අංශයේ සේවය කල අතර ඇන්ටී ගෙදර දොර කටයුතු කරමින් කාල ගෙවූ අයෙකි. ඔවුන්ට පුතුන් දෙදෙනෙකු සිට ඇති නමුත් එක පුතෙකු අහිමි වන්නේ 88-89 භීෂණ කාලය තුල සරසවි තුල සිදුවූ අවාසනාවන්ත සිදුවීම් නිසාවෙනි. ඇන්ටී අප සමග එම සිදුවීම් ගැන දුක් මුසුව පැවසූ වාර බොහොමය.

රෑ බෝවන විට රූපවාහිනය වටා එක් වන මෙම යුවල එහි විකාශය වන ටෙලිනාට්‍ය නරඹන්නේ එවා තුල ජීවත් වෙමිනි. ටෙලිනාට්‍යයේ උච්ච අවස්ථාවක් බොහෝ විට කෙලවර වන්නෙ නිවසේ කෑම පිඟන් පොලවේ ගසන හඬ ද සමගිනි. සවස් යාමයේ මදුවිතක් තොලගා පැමිනෙන අංකල් ගේ නෝක්කාඩුව ඉන් අනතුරුව බොහෝ රාත්‍රීවල අපට අසන්න්නට ලැබුනි. අවාසනාවකට ඒ කිසිවක් ඔවුන්ගේ පෞද්ගලිය ජීවිතයෙ ප්‍රශ්න නොව එදින රාත්‍රියේ ඔවුන් නැරඹූ ටෙලි නාට්‍යයෙ රඟ දැක්වු ජවනිකාවල ප්‍රශ්න වීම අපට මහත් හාස්‍යක් විය. කැමරාවක් ඉදිරියේ රඟ දැක්වෙන ජවනිකාවක් තුල සජීවීව ජීවත් වන මිනිසුන් කොටසක්ද මේ මිහිමඩලේ ජීවත් වන බවත්, ඔවුන් එතරම් ඒ තුලට ඇඳ බැඳ තබා ගෙන “රැවටිය” හැකි “රසවින්දනයක්” ඇති නිර්මාන බිහිවන බවත් ඒ තුලින් මට පසක් විය.

ඉංග්‍රීසි පාඨමාලාව අවසන් වී අධ්‍යයන කටයුතු ආරම්භ වීමට ආසන්න වනතුරුම එම බෝඩිමේ ගතකර වෙනත් ස්ථානයකට යනතුරු ඇන්ටී අපට සැලකුම් කලේ ඇයගේම පුතුන්ට ලෙසය. සමහර දිනෙක අපගේ ඇඳුම් පවා සෝදා දමන්නට තරම් ඇය කාරුණික විය. පසු කාලිනව ඔවුනගේ සේවා කාලය අවසන් වූ පසු නිල නිවසෙන් පිට ගිය අතර මා සරසවියෙන් පිටව යනතෙක්ම වරින් වර මට හමුවුනා.  සරසවියෙන් පිටව ගතවූ වසර 12ක කාලයේ කිසි දිනෙක නැවත හමු නොවුනත් මගේ මතකයෙන් ඔවුන් කිසිදා මැකී නොයනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න