අතේ පත්තුවූ අතපත්තුගේ ඉන්දියානු සංචාරය…

ජූනි 11, 2012

සරසවියේ අපි එක්ක එකට හිටියේ අපේ “බැච්” එකෙ අය විතරක් නෙමේ.. අලගමනය වුන ජ්‍යෙෂ්ඨයො වගේම සුපිරි ජ්‍යෙෂ්ඨයොත් ඒ එක්ක ඉතාම ලෙන්ගතුව හිටියා.. ඒ අතරින් කිහිපදෙනෙක්ම සරසවි ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වරම් දිනාගෙනත් තිබුනා.. කපිල සහ මයුර ඒ  අතරින් අපිත් එක්ක ලඟින්ම හිටපු අය..

අපි සරසවියෙන් නික්ම ගිහින් වසර කිහිපයක් තුල කිසිවෙකුත් නොසිතූ ලෙස කපිල අපි අතරින් සමුගත්තා.. හදිසියෙම ඇතිවුන අසනීප තත්වය සමග ගතකල කෙටි කාලයෙදී මගේ හිත මිතුරු දිනේෂ් ගේ විවාහ මංගල උත්සවයට සාභාගිවෙන්න දින කිහිපයකට මව්බිම පැමින නුවර ආපු වෙලාවෙ අවසන් වරට මට කපිලව හමු වුනා.. බිමාලි අක්කයි, පුංචි දුවයි එක්ක ජීවිතේ දහසක් බලාපොරොත්තු පොදිබඳින කාලෙක අපි කිසිම දෙනෙක් නොසිතපු අයුරින් ඊට මාස කිහිපයකට පසුව කපිල අපෙන් සමුගත්තා. අවමගුල් උත්සවයට එන්න බැරි වුනත් මම ලංකාවට පැමිනි විගසම බිමාලි අක්ක හමු වෙන්න නුවර ගියේ තාත්තාගේ මතකය හරි හැටි තියාගන්නත් බැරි පුංචිම වයසක සිටි කපිලගේ පුංචි දෝනිට පුංචි තෑගි මල්ලකුත් අරගෙන. අපේ හමුවීම අවසන වචනවලට වඩා කඳුළු හැළුන කාලය වැඩිවුනා.. කපිලගේ සමු ගැනීමෙන් කාලයකට පස්සේ රසායන විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියේ වැඩිදුර අධ්‍යාපන වෙනුවෙන් බිමාලි අක්කා දියනියත් සමග විදේශගතවූ නමුත් තවමත් වරින් වර “ෆෙස්බුක්” හරහා අපේ මතකයන් අවදි කරනවා.. බිමලි අක්කා මගෙන් ඉල්ලා සිටි “කපිලගේ” ඡායාරූප එකතුව මගේ ලඟ තවමත් සුරැකී තිබෙන අතර ලංකාවට පැමිනි දිනක එය ලබාදෙන්නට කටයුතු සලස්වන්නම්.. මගේ සරසවි මතක සටහනේ පුංචි හෝ ඉඩක බොහෝ වෙලාවට “මහින්ද කපිලරත්න” ගැන ලියවෙන්නේ අපේ මිතුදමේ සදාතනික මතකයයි..

මම මේ මතක සටහන ලියන්න පටන් ගත්තෙ කපිල එක්ක මයුර සාභාගිවුන  ක්‍රිකට් තරගයක් ගැන මතකය අවදි කරන්න.. ඒ කාලේ සරසවි ක්‍රීඩාංගනේ ක්‍රිකට් මැච් තියෙද්දි නිතැතින්ම ඒ දෙසට දිව යන්නේ කාරනා දෙකකට.. එකක් තමයි කපිලගෙ පන්දු යැවීම බලන්න.. අනෙක් කාරනේ මයුර පිති හරඹයේ යෙදෙනකොට “හූ” කියන්න.. ඇඟේ සියලු “හන්දි” අඹරමින් “සුලං” කපාගෙන පිති පහරක් එල්ලකරද්දි.. පන්දුව නිදැල්ලේ ගිහින් විකට්ටුවෙ වදිනවා.. පාරේ හිටගෙන මැච් එක බලන අපෙ මුවින් එවන් අවස්තාවක නැගෙන “හූ” හඬ සමහර දිනෙක සරසවියේ නිහැඬියාව බිඳ දමනවා.. සද්දේ වැඩි උනොත්.. මයුර ක්‍රීඩාගාරයට එනවට වැඩි වේගයෙන් අපි එතනින් මාරු වෙනවා. එහෙම නොකලොත් නිසැකවම “පුස්තකාලේ” ආරක්ෂක නිලධාරින් අපිව එතනින් එහාට පන්නනවා. හවසට “හුදකලාව” නේවාසිකාගාරයෙදි දැවීයාමට හේතු අහේතු සහිතව නොතෙරෙන ක්‍රිකට් වචන ටිකක් මයුරගෙන් අහන්න ලැබෙනවා..

මේ අතර වාරයේදී තමයි ලංකාවේ සරසවි සියල්ලකම ක්‍රිකට් කණ්ඩායම් වලින් තෝරාගත් කණ්ඩායමක් ඉන්දියාවෙ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියකට සාභාගිවෙන්න පිටත් වෙලා යන්නේ.. ඒ සඳහා තෝරාගත් කන්ඩායමට කපිල සහ මයුර දෙන්නම ඇතුලත් වුනා.. හැමදාම වගෙම ඒ වාරෙත් මයුරට නම් පද එමටයි.. වතුර අල්ලන්න යන “වොටර් බොයි” ලු, බොරුවට කටුනායකට ගිහින් ආපහු ගෙදර යනවලු…, කොල්ලො එක එක කතා කියනවා.. අවාසනවක තරම කියන්නේ පත්තරෙක මෙ ගැන පලකල ලිපියක තියෙන කණ්ඩායමේ මයුරගෙ නමත් නෑ..  ඒ පත්තර කොලේ ෆොටෝකොපි කරල සරසවියෙ “මඩක්” ගහල.. කොහොම නමුත් හැලහැප්පීම්, මඩ ප්‍රහාර හමුවේ මයුර ඇතුලු කණ්ඩායම ඉන්දියාවට ගියා.. කාලය ගෙවිල ගියා.. කණ්ඩායම නැවත එන දවස ලං වුනා..

මම, කෝසලත් එක්ක සී.පී.කේ. ගෙ ගෙදර ගියේ වැදගත් වැඩකට අත ගහන්න.. ලංකාවට ගොඩ බහින මයුර වෙනුවෙන්.. “පැපරාසියාගේ” පොස්ටරය සැලසුම් කලා.. ඒකටම හරි යන කාටුනයක් දිවයින පත්තරෙ තියෙනවා.. එක කපාගෙන.. අඩු වැඩිය එක් කලා.. පා ආවරන පිටින්ම බැට් එකත් කිහිලි ගහගෙන එරොප්-ප්ලේන් එකෙන් බැහැල එන “මයු මාමා” පිලිගන්න ගමෙන් බස් එකක් කටුනායක ඇවිල්ලා.. කොල්ලො කුරුට්ටො පුරෝගෙන.. ගමෙන් “එරොප්පෙ” ගිය එකම මුනුබුරා දකින්න ආපු මුත්තල කිරි කිත්තලත් බස් එකෙ ඉන්නව.. නිර්මානය හරිම සාර්ථකයි.. පහුවදා එකත් අරන් සරසවි උයනට ආවේ කොපි ටික ගහගන්න.. කලින් වගෙම අහක දමන කොලවල අනික් පැත්තේ අඩු මිලට පොස්ටර් ටික “ෆොටෝ කොපි” කලා.. දවල් වෙනකොට මයුර සරසවියට එන්න කලින් මේ ටික අලෝ ගන්නත් ඕනේ.. මෙහෙයුම සාර්ථකයි.. වෙනදට වඩා අලුත් තැන් කීපයකත් ඇලෙව්වා.. ඒ මයුර වැඩියෙන් යන එන තැන්.. “ලිට්ල් චෙෆ්” එකයි.. අපායයි..

මොනවා කලත් වෙනද වගේමයි.. “පලයං බං යන්න.. උඹල වගේ කෑඳැත්තෝ..” කියාගෙන අපි වෙත ආපු මයුර අපේ සරදම විරසකයකින් තොරව රසවින්ඳා.. ආගිය කතා.. ක්‍රිකට් තරඟ ගැන එක එක විදිහෙ කතා ඇහුන.. අපි හිටපු හෝටලෙ ඉස්සරහ ඉඳල ගත්තෙ කියල ඡායාරූප පෙන්නුවා.. මොකෝ ඇතුලෙ ෆොටෝ අල්ලන්න දුන්නේ නැද්ද. පාරේ ඉඳන් ගත්තෙ.. කවුදෝ සරදම් කරනව ඇහුනා… ටික වෙලාවක් යනකොට කසු කුසුවක් එක්ක ඇත්ත කතාව එලි වුනා..

සිතුවාට වඩා නීරස චාරිකාවක් නිමකරල අපේ කට්ටිය ඉන්දියාවෙන් ඇවිල්ල තියෙන්නේ.. අපායෙන් නිදහස් වෙලා එනවා වගේ.. ලංකාවෙ එල්ලේ ක්‍රීඩාංගන වලටත් වඩා අඩු පහසුකම් සහිත ක්‍රීඩාංගන වල පැවැත්වුන තරඟ.. පහසුකම් අවම හෝටල් කාමර.. මේ කතාව කොහොමද මෙහෙ ඇවිත් කියන්නේ.. ඒ නිසා තමා පාරෙ තියෙන සුපිරි හෝටල් ඉස්සරහ ඉඳන් ෆොටො ගහල තියෙන්නේ.. අතපත්තුගේ කතාව අතේ පත්තු වුනා.. එදා ඉඳල බොහෝ කල් යනතුරු.. “මයුර ඉන්දියාවෙ ගිහින් ෆොටෝ අරන් ආවා වගේ” කියන කියමන අපි අතරේ නිතර කියවුනා..

නිතර නිතරම.. අපේ සරදම් මැද අපිත් සමග එකටම කාලය ගත කල අපේ සුපිරි ජ්‍යෙෂ්ඨයෙක් වූ “මයුර අයියා”  අපේ මතකයෙන් කිසිදා නොමැකෙන චරිතයක්වුනා..

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: