මතකයේ සටහනට නැවත ඇරඹුමක්! නැවත ලියවෙන මතක සටහනක්

මැයි 9, 2014

කාලයක් තිස්සේ නිහඬ වෙලා තිබුන මගේ මතකයේ සටහන ආයෙත් ලියන්න ලොකු උවමනාවක් තිබුනා.. ඒත් ඒක පටන්ගන්න තැනක් සොයාගන්න බොහෝ දවසක් ගතවුනා.. ගෙවීගිය කාලයේ “මතකයේ සටහන” අලුත් කරන්න බැරිවීම ගැන කණගාටුයි.. එදා මම සටහනක් ලියපු හැම විටෙකම මගේ බ්ලොග් අඩවිය කියවන්න එකතුවුන අය වරින්වර මගේ මතකයේ සටහන ගැන පහුගිය කාලය පුරාම මතකය අවදි කලා.. මගේ අන්තිම මතක සටහන ලියපු දවසේ අපේ ලෝකයට එකතුවුන පුංචි අමුත්තා “පලිඟු හසරැල්”.. අද චුටි මල්ලියෙක්.. අම්මිගෙ තාත්තිගෙ “පුංචි පුතා”.. දැන් පුන්චි චන්ඩියෙක් වෙලා.. “ලොකු පුතා” පාසල් යන වයසට එලඹිලා.. අම්මිගේ, තාත්තිගේ ලෝකය පුතාල දෙන්න එකතුවෙලා ගොඩාක් වෙනස් කරලා..

ගෙවී ගිය කාලය පුරා ජීවිතය බොහෝ හැල හැප්පීම් මැද ගත වුන නිසා මගේ සටහනට මද විරාමයක් ලැබුනත් කොයි මොහොතක හෝ නැවත ආරම්භයක් වන දවසක් තිබුනා. ඒ නැවත ඇරඹුමට පියවරක් තබමින් මම කාලෙකට පෙර සටහන් කල නමුත් අදටත් කාලෝචිත සටහනක් මේ සටහන නැවත පල කරන්නට අදහස් කලා. මීට වසර දෙකකට පෙර වෙසක් දවස වෙනුවෙන් ලියවුන මේ සටහන සැබවින්ම මගේ මතක ආවර්ජනයක්..

අපෙන් ගිලිහෙන බැතිබර දවසෙක, පුංචි පුතුට අටපට්ට්මක්

සදහම් සිසිලස දසත පැතිරුන තවත් වෙසක් දවසක් උදාවෙලා, වෙසක් දවසට හමන ඒ සීතල සුලඟ හැමදාමත් එක වගේ.. ඒ සුලං රැල්ලට තාලෙට නැලවෙන සව්කොල රැලි.. සුලඟට පාවෙලා එන ඝණ්ටාර හඬ තවමත් ඉතිරිවෙලා.. හිටි අඩියේම දන්සැලකින් නැගෙන තාරුණ්‍යයේ අඳෝනාවකින් වෙසක් සිසිලසේ නිසංසල බව බිඳී යනවා.. පුංචි පුතා එක්ක එකතුවෙලා හවසට එල්ලන්න වෙසක් කූඩුවක් හදාගන්න ඕනේ.. ඔට්ටපාලු, බට පතුරු සොයාගෙන ලන්ද දිගේ දුවන්නෙ කොහොමද.. ඒ සියල්ල අතීත මතකයන් විතරයි…

ඉස්සර වෙසක් දවස් ලං වෙනකොට අපිට වැඩ ගොඩයි.. වෙල් ඉස්මත්තෙ තිබුන බට පඳුරෙන් හොඳ බට ගස් දෙක තුනක් කපා ගන්න… ආතාට කියල ඔට්ටපාලු බෝල දෙක තුනක් ගෙන්න ගන්න… එහෙමත් නැතිනම් රබර් වත්තෙ දුව ඇවිදල ඔට්ටපාලු ගලවගන්න… බෝනස් එකට රබර් ගෙඩි පොත්තෙන් රූං පෙත්තක් හදා ගන්න.. මොනතරම් සුන්දර කාලයක්ද? ඒත් දශක දෙක තුනක් ගෙවිල ගිහින්… අපේ පුංචි පුතාට මේ වගේ අත්දැකීම ගැන හිතන්නත් අමාරුයි…

රබර් ගස් ටික ගලෝල, ඉඩම ඩෝසර් කරල, අලුත් ජනාවාසයක් බිහිවෙලා.. දැන් එක පුංචි ජනපදයක් වගේ.. වෙල් ටික පුරන් වෙලා, නියර බඩවැටි උඩින් කොන්ක්‍රීට් පාරවල්, තාප්ප හැදිල… බට ගහක සේයාවක් වත් නැහැ…

අපි ඉස්සර කූඩු බලන්න යන්නේ තමයි වෙසක් දවසේ රෑට රන්චු ගැහෙන්නෙ.. අද පාර තොටේ හන්දියක් ගානේ පාට පාට වෙසක් කූඩු බැබලෙනව. ඒත් ඒ වෙසක් නිසා විකිනෙන වානිජ භාන්ඩයක් මිස සම්බුදු තෙමගුල වෙනුවෙන් කරන ආමිස පූජාවක් නොවේ.වෙසක් කූඩු විකිනෙනව අපි පුංචි කාලෙ දැක්කෙ කිරුලපොන හන්දියේ.. එදා එහෙම දෙයක් දැකපු වෙලාවෙ අපේ අම්ම කිව්වෙ.. නගරයේ ඉන්න අයට අපිට වගෙ බට පතුරු ඔට්ටුපාලු නැති නිසා එව්වා හදල විකුනනව කියල.. ඒත් අද.. වෙසක් කූඩුවක් විකුනන් නැති පාර තොටක් සොයන්නත් අමරුයි. දැන් තියෙන්න රෙඩි මේඩ් වෙසක් කූඩු සමහර විට ඊලඟ වෙසක් එකටත් තියා ගන්න පුලුවන්.. මොකද ප්ලාස්ටික් වලට ගුල්ලො ගහන්නේ නැති නිසා…

පාරේ කඩපිල් වල එල්ලෙන වෙස්මුහුණු ටික දැක්කම පුදුම දුකක් දැනෙනව, ඉස්සරනම් කඩදාසි පල්ප වලින් හදල වෛවාරන පාට ගාල හදල තිබුන කෝලම් මුහුණු ටික දැක්කම පුදුම ආසාවක් දැනෙනව. ඉස්සර වෙසක් ලංවෙලා ආතා ටවුමට ගියොත් අපිට වෙස්මුහුණු තුනක් ගෙනත් දෙනව අද වගේ මට මතක් වෙනව.. ඒත් අද.. ප්ලාස්ටික් වලින් හදපු ඩිස්නිලන්තේ තරු කඩපිල් වල එල්ලෙනව.. වෙසක් එකට “මිකී මවුස්” තමයි අපේ පුංචි අයට මුහුනේ දාන්න වෙන්නේ.. එහෙමත් නැතිනම්.. විකාර රූපි “හැලෝවින්” මුහුණුත් උනු කැවුම් වගෙ විකිනෙනව.. අපේ කෝලම් මුහුණු ටිකයි ඔලුබක්කො ටිකයි කාලයත් එක්ක වැලලිලා යනව..

හැමදෙයක්ම එහෙමයි.. වෙසක් දවසේට පන්සල් අඳින විලාසිතා මේ දිනවල “සීමාවක් නැති විලාසිතා මකුනන්” ගේ වීදුරු රාක්කවල දිස්වෙනව. ඒ අතරෙ සංකර ඇඳුමක් අපේ නෝනා මහතුනට සොයාගන්න නැති තරම්.. සම”හරක්” වානිජ වටිනාකමට ලංසු තියන්නේ අපේ සංස්කෘතියේ උරුමයන් සමග නිසා ගිලිහීයන්නේ අපේම නූපන් දූ පුතුන්ගේ හෙට දවස බව නොදැනීම මහත් අවාසනාවක්… බෞද්ධ කොඩිය කරේ දාගෙන බීච් ෂෝට් , ස්කිනි වලින් සැරසුන කොල්ලො කුරුට්ටො පන්සල් එන දවස ලඟ ලඟම එන සේයාව අපිට දැනෙනව..

ඒ දවස් වල වත්තෙ පොල් ගස්වලින් වැටිල පැලවෙන්න යන පොල් වල මද ගලවල වේලගන්නේ වෙසක් එකට පහන් වැටක් පත්තු කරන්න හොඳ කොප්පර තෙල් ටිකක් හිඳගන්න… ඉරිද පොලේ අමු පොල් අතු වට්ටියේ දාල විකුනන මැටි පහනකටත් වඩා වත්ත පහල කදුරු ගහෙන් ගෙඩි ටිකක් එකතු කරගන්න තිබුන නම් ඊට වඩා සතුටක් නැහැ.. ඒත් අද.. පොල් තෙල් එක්ක එකතුකරල දෙන ෆාම් ඔයිල් වලින් .. නැතිනම් පහන්තිරයත් එක්ක ඉටිවක්කරල එන මැටි පහනකින් එදා සමරපු බැතිබර වෙසක් මංගල්‍ය ආලෝකමත් කරන්න හැකිවේද?

ගේ ඉස්සරහ හිටවන්න හොඳයි කියල අපේ අම්ම පුංච් උණ පඳුරක් හිටවපු එක කොයිතරම් වාසනාවක්ද? ඒකෙන් උණ ගස් කෑල්ලක් කපාගෙන රබර් පටි ටිකකුත් හොයාගෙන අටපට්ට්මක්වත් අටවන්න ඔනේ පුංචි පුතාවත් එකතු කරගෙනම. එහෙම නොවුනොත්, අන්න පුතේ “අටපට්ට්ම” කියල අපි වෙසක් කූඩුවක් පෙන්නන දවසක .. ඒ මොකක්ද තාත්තේ “අටපට්ට්ම” අහවල් දවසේ රෑ ටීවී එකේ නේද පෙන්නනේ කියල අහාවි..

(මනංකල්පිත ප්‍රබන්ධයක් නොවේ)

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: